Sunday, November 21, 2010

නැවතත් ක්‍රීඩා පිටියට.....

ගොඩ දවසකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ...ඒකත් මේ අහම්බෙන්....examකාරිය ඉවර කරලා ගෙදර ආවත් හරි මෙලෝ රහක් නෑ....පට්ට කම්මැලියි....වෙන දෙයක් වෙද්දෙන් කියලා...හෙට දිහා ආයෙත් campus එක පැත්තට ගුවන් ගත වෙන්නයි හිතන් ඉන්නේ....හිටියමත් මල වදේ කියල හිතෙන බඩජාරි ආදරබර මිතුරු කැළ නැති උනාමත් සාංකාව වගේ....අපේ උන් ඉඳලා ඉඳලා මාස ගානක් plan ගහලා යන්න හිටපු ට්‍රිපටත් ඇණ වෙලා.....
ගිය පාර ගිය ට්‍රිපේ අමාරුව අවුරුද්දක් ගිහිනුත් තාම තියනවා...;) ඒක ඒ තරමට ආතල්....ට්‍රිප් එක ඉවර වෙනකොට කට්ටියම ඉල ඇදගෙන, කං සාක්කුවේ දාගේන තමා ගෙවල් වල ගියේ.....මතක් වෙන්නත් එක්ක ඔන්න මම ට්‍රිප් එකේ ගත්ත video එකක් මෙතනට post කරනවා... 
මේක මේ අපේ පොලොන්නරුවේ ඉන්න රසිකය ලගේ ගෙදර ගිහින් වෙච්ච් සීන් එකක්....අපි අපේ රසිකයට ආදරේට කියන්නේ වල් ඌරා කියල....:P(ඔව් ඔව් ඒකා තමයි....අර කැලේ ඉන්නේ....)ඔය කට්ටිය ඉන්නේ උන්ගේ ගෙවල් ඉස්සරහින් යන 1ඇලේ.....අහල ඇතිනේ අර සිංදුව...."දෙකේ ඇලේ පුංචි මාළු තාම නටනවද..?"කියලා....ඒ දෙකේ ඇල...මේ ඒකෙ පොඩි සයිස් එක එකේ ඇල....කට්ටිය ඇල මැද්දේ පාලං ගහන්න ගියා කියන්නේ...භාවිතා කර තිබෙන වාග් විලාශය විදග්ධ බුද්ධියකින් හෙබි හුදී ජන පහන් සංවේගය උදෙසා ගෝචර නොවන බැවින් මා විසින් කපා කොටා...මැද්දට "බීප්...!!"නාදය එක් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.....
video

කොච්චර ආතල් එකේ හිටියත් ජීවිතේ ඉස්සරහට තියන වගකීම් දැනෙනකොට...ඇඟ හීතල වෙලා යනවා....තව කොච්චර ටික කාලයයිද මේ විදියට කුරුල්ලෝ වගේ නිදහසේ ඉන්න තියෙන්නේ....අපි ඕලෙවල් කාලෙදි හිතන් හිටියේ...ඕලෙවල් වලින් එහා ලෝකයක් නෑ කියලා....ඒලෙවල් වලදිත් එහෙමයි....ඒ සේරම ඉවර වෙලා higher studies වලටත් ඇවිත් පොලවේ පය ගහලා හතර වටේ බලනකොට තමා තේරෙන්නේ....ජීවිතේ කොයි තරම් සංකීර්ණද කියලා... 
මේ කතා කියනකොට මට එක පාරටම මතක් වුනේ අපේ නිමා.....(නිමන්ත).(මොකද මන්දා....).මූට official කාඩ් එකක් නැති උනත් කරලා තියන වැඩ ටික ඇති කතන්දර 1000 ක් හදන්න....මොන මොන සයිකෝ ලෝක වල හිටියත් ඇත්තටම හිත හොඳ කොල්ලා....මං තාම ඌව තේරුම් ගන්නවා.....campus එකේ B n S Concert එකේදි භාතිය "Say Oh! Oh!" කියලා කෑ ගහද්දි අනිත් පැත්තට "Say Oh! Oh!" කියලා කෑ ගැහුවෙත් මූ තමයි...ඔන්න කොල්ලගේ තත්වේ...දුක කියන්නේ මේ හැමෝම ලබන semester එකේ ඉඳන් ටික ටික ඈත්වෙයි......අපි හැමෝම අපේ ලෝක වල තනි වෙයි....අන්තිමට පොස්ට් එක ඉවර කරන්න ලස්සන සිංදුවක් මතක් වුනා.....මේකත් කියාගෙන ඔන්න එහෙනම් මං යනවෝ....... C yaa....!!!!"නොනැවතී කරකැවෙනා....මේ පොළෝතලේ.....කොතැන සිටියත් දැනෙනවා....ඔබේ...උණුසුම මිතුරනේ......!!!!"


Monday, August 16, 2010

කලකට පස්සේ....

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් එකේ සටහනක් තියන්න පොඩි වෙලාවක වෙන්කරගන්න පුලුවන් වුනා..මේ semester එකේ වැඩත් එක්ක assignments, mid terms එහෙම සෙට් වුනාම පිස්සු හැදෙනවා....අලුත් අලුත් දේවල් ගොඩාක් හිතේ තියන් ඉන්නවා බ්ලොග් එකට එකතු කරන්න....හිතනවා ඒවා ගොඩක් වැදගත් වගේම ගොඩක් රසබර වෙයි කියලා....සින්ඩියේ උදවිය මගේ සාමාජිකත්වය අහෝසි නොකර තිබ්බොත් ගොඩක් හොඳයි එතකල්.... :) එහෙනම් 22න් පස්සේ ලස්සන රසබර තොරතුරු ගොඩක් අරන් ආයේ මුණගැහෙමු.....!!!!

Tuesday, June 22, 2010

ස්නේහ ගංගාව..



ලොව ඇති සියළු දුක් විඳ
අප ලොවට දායාද කල
අම්මා.....
සයුරු රළ මැඩ 
කඳු මුදුනින් ගලනා
ස්නේහ ගංගාව..,
අම්මා....
ළය කඳුළැලි කිරි කොට
ඒ කිරෙන් මුව දෝවනය කළ
අම්මා....
ලොවක් හිම කැට මෙන් 
දොර කවුළු මත 
‍රැඳී සරදම් කරන යාමේ..
සෙනෙහසේ සුවඳින් මා සිත පිරවූ
අම්මා.....
මිනිස්කම් නැති ක‍ටුක දේසේ..
හමා ආ සරදම් තැවුල් සැඩසුළං
නිවා සනහා....,
ස්නේහයේ මඳනලින් මා සුවපත් කල මල් සුවඳ...
අම්මා....
ජාති ජාතිත් ණයගැති මේ පිදූ සෙනෙහසට.......
-පසන් අකලංක පතිරණ

මතකය

සිහින අසපුව
නිදන නොනිදන නෙතු අතර...
සුවඳක්ව දැව‍ටුනු
එකම සිහිනය....
නෙතු අද්දරින් 
ඉරිතැලුණු...
කඳුලක් වුවත් පෙර දිනයේ....
හැමදාම නුඹ ඉන්නේ
මතක ඉම කඳුලක්ව....
-පසන් අකලංක පතිරණ

ගියත් නික්මී...සමුනොගත් මිනිසා නුඹයි.....!!




කඳුලින්ම බර..ආකාස දෑසේ...
සංධ්වනී ගුගුරවයි...වර්ෂා සේ....
සංගීතාත්මය...ඒ තමයි නුඹගේ...


වචනයෙන් තොර නාදේ ස්වරයාණනේ...
පරම හැඟුමෙහි පරමේශ්වරයාණනේ...
සුවහසක් රස ගඟුල් එකතුව...සමුදුරක් මැයි නුඹ තැනූ තනු....
විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව...නිම්තෙරක් නැති නුඹේ ඔපෙරාව....
නිම්තෙරක් නැති නුඹේ ඔපෙරාව....


සූර්යා සේම පායා..දෑත් හිරු කිරණ විහිදා....
මහ පොළොවේ සෘතිය හඳුනා...තුන්කල්ම දකින මිනිසා...
හඳුනා ගත්තොත්....හඳුනා ගත්තොත්....අසීමිත මිනිසා නුඹයි...
ගියත් නික්මී...සමුනොගත් මිනිසා නුඹයි...
ගියත් නික්මී...සමුනොගත් මිනිසා නුඹයි... 


   ගීත විචාර ගැන මේ කොලම පටන් ගන්නවා කියල හිතපු වෙලාවෙම මගේ හිතට ආපු ලොකුම ප්‍රශ්ණය තමයි...මං ඉස්සෙල්ලාම මේ තීරුවේ දාන්න ඕනේ මොන ගීතයද කියන එක....ඔය වෙලවේ තමයි අහම්බෙන් වගේ වැඩිය ඇහුනෙ නැති..ඒත් සුවිශේෂී අති විශිෂ්ඨ පුද්ගලයෙක් ගැන ලියවුනු බොහොම හැඟීම්බර අපූරු ගීතයක් අහන්න ලැබුනේ...
    මේ ගීතයේ වස්තු බීජය නැත්නම් කථානායක වෙන්න මෑතකදී අපෙන් සමුගත් සිංහල සිනමා ක්ෂෙත්‍රය හා සංගීත ක්ෂෙත්‍රය නව මඟකට යොමු කල පුරෝගාමී සංගීතවේදියෙකු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්....
      ගීතය ගායනා කරන්නේ ශ්‍රී ලාංකීය සංගීතයට අනභිභවනීය නිර්මාණ ‍රැසක් දායාද කල තවත් විශිෂ්ඨ සංගීතඥයෙකු වන අමරසිරි පීරිස්..පද්‍ය රචනය අමිල තේනුවර විසින්..ඒ වගේම මා මේ ගීතය විචාරයේදී වැඩි අවධානයක් යොමුකල සංගීත නිර්මාණය දර්ශණ රුවන් දිසානායක ගෙන්...ඊට හේතුව රසික ඔබට මේ ගීතය රසවිඳින වෙලාවට තේරුම්ගන්න පුලුවන් වෙයි...
    කේමදාසයන් කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච ඝාන්ධර්වයෙක් කිව්වොත් නිවැරදියි...දේශීය සිනමාවට සිනමාරූපී සංගීතය හඳුන්වා දුන් ඔහු සංගීත සංධ්වනිය, සංගීත ඉඟිනළුව, මුද්‍රානාටකය, සංගීත වර්ණතාවය ප්‍රචලිත කල සංගීතවේදියෙකු වුනා..එතුමා ගේ නිර්මාණ තුල ගැබ්වී තිබූ සංගීතාත්මක ගැඹුර විශ්මය දන්වන සුළුයි...මා එතුමා ගැන යමක් මේ තීරුවට ලියන්න වෙබ් අඩවි පීරද්දී...එතුමාගේ රසිකයෙක් බ්ලොග් පි‍ටුවක ලියපු "අනෙක් නදකින් අපි නොවෙමු තොස!" කියලා ලිපියක එතුමා ගැන බොහොම අපූරු කතාවක් මේ විදියට ලියලා තියනවා දැක්කා...."මීට දෙමසකට පෙර ප්‍රේමසිරි කේමදාසයන්ගේ අවසන් ප්‍රසිද්ධ ප්‍රසංගය (public performance) බවට පත් වූ(?) අග්නි ඔපෙරා දර්ශනය නැරඹීමේ භාග්‍යය (අවාසනාවන්ත භාග්‍යය) මට ලැබුනා. එදින මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවනාගාරයෙහි දී කේමදාස සූරීන් සංගීතය මෙහෙයවූ අයුරු දුටුවකුට හැඟෙන්නට ඇත්තේ දෙමසකින් මිය යාමට තිබුනු කෙනෙකු පිලිබඳ ධාරනාවක් නම් නෙමෙයි. එහි උන්නේ තවත් වැඩ කප්පරක් කිරීමට ඉස්පාසුවක් නොතිබුනු තරුනයෙක්!"
    ගීතය ගැන කතාකරද්දී පද පේලි එකින් එක කියවාගෙන යද්දි මට හිතුනේ අපි හරි අවාසනාවන්තයි...කියලා වගේ හැඟීමක්....අහසින් කඩා හැලෙන මහා වර්ෂාව රචකයා අසමසම සංගීතාත්මයක වියෝව කඳුලින් බර දෑසකට උපමාකොට තිබෙන්නේ මේ මහා ඝාණ්ධර්වයාගේ සමුගැන්ම පරිසරය පවා ප්‍රතිචාර දක්වන ස්වරූපය පෙන්වමින්.....ගීතයේ වචනයෙන් වචනය රසික ඔබට විචාරය කරනවාට වඩා....ඔබටම එය විඳින්න දෙන එක හොඳයි කියලා මං හිතනවා...මේකේ මං ආස කරන එක තැනක් තමා.."සුවහසක් රස ගඟුල් එකතුව...සමුදුරක් මැයි නුඹ තැනූ තනු....
විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව...නිම්තෙරක් නැති නුඹේ ඔපෙරාව..."කියන කොටස...කේමදාසයන්ගේ නිමැවුම් තුල ගැබ් වුනු අද්භූත වූත් අපූර්ව වූත් මහා සාගරයක් වන් නිර්මාණ කෞශල්‍ය මේ තුලින් හොඳින් පැහැදිලි වෙනවා....මේ ගීතයේ ම්ගේ වඩාත්ම සිත් ගත් කොටස නැත්නම් ගීතය මතක් වෙනකොටම සිතට නැගෙන පද පේලි වෙන්නේ..."සූර්යා සේම පායා..දෑත් හිරු කිරණ විහිදා....
මහ පොළොවේ සෘතිය හඳුනා...තුන්කල්ම දකින මිනිසා..."කියන කොටස...ඒ ඇයි කියලා ඔබට මං කියා දෙන්න ඕනෙ වෙන එකක් නෑ කියලා මං හිතනවා....ඒ වචන කීපය ඒ තරම්ම හැඟීම් බරයි....
     ගීතයේ සංගීතය ගැන මං කොහෙන් කියන්න පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.....අති විශිෂ්ඨයි.....මං එහෙම කියන්නේ හේතු දෙකක් නිසා....එකක් නිර්මාණකරුවා කිසිම එලිවැටක් නැති ලස්සන පද පේලි කීපයකට හිතාගන්නවත් බැරී තනුවක් දාලා කරලා තියන විශ්වකර්ම වැඩේ....(අමරසිරි පීරිස් කලාකරුවාටත් එකේ ගෞරවය යන්න ඕනේ ..) අනික එක තමයි..සංගීත නිර්මාණයේදී කේමදාසයන්ගේ නිර්මාණ වල අඩංගු වෙච්ච..හිතේ ‍රැඳුණු සංගීත කණ්ඩ් බොහොමත්ම අපූරුවට එකිනෙකට ගැලපෙන ආකාරයට යොදාගෙන තිබීම....මේ ගීතය අහපු මුල්ම වතාවේ මට හිතුනේ මේ අපූරු මනුස්සයා කොයිතරම් සුවිශේෂි වගේම විශාල නිර්මාණ ප්‍රමාණයක් කරලා තියනවද කිව්වොත්...ඒ නිර්මාණ වලින් එකතු කරගත්ත එකිනෙකට ගැලැපෙන විවිධාකාර සංගීත කණ්ඩ එකතු කරලා නව නිර්මාණයක් කරන්න තරම් එවා ප්‍රභල වුනේ කොහොමද කියන එක...
     ගීතය පටන් ගන්නෙම කේමදාසයන් සංගීත කර්මය කල.."මිනිසා.. මරණ තුනක් මැද.."කියන ගීතයේ සංගීත කණ්ඩයකින්...ඉන්පසු ගීතයේ ප්‍රථම කොටසේදි.."ගොළු හදවත"සිනමා පටයේ සංගීත කොටස් මෙන්ම.."හඳුනාගත්තොත් ඔබ මා.."ගීතයේ සංගීත කණ්ඩද ඔබට බොහොම අපූරුවට ගීතයට ගලපා ඇති ආකාරය රසවිඳින්න පුලුවන්....ඒ වගේම ගීතය අතරතුර කේමදාසයන් සංගීත නිර්මාණය කල නන්දා මාලනියන්ගේ අම්මාවරුනේ....අමරසිරි පීරිස්ගේ ලඳුනේ...අග්නි ඔපෙරාව..දඬුබස්නාමානය ටෙලිනාට්‍ය..අග්නි දාහය....බඹරු ඇවිත්...ගරිල්ලා මාර්කටින්...යුගාන්තය වැනි සිනමා නිර්මාණ වල අඩංගු සංගීත කණ්ඩ එකිනෙකට ගලපා නිර්මාණයට යොදාගෙන තිබෙන ආකාරය අතිවිශිෂ්ඨයි...
     අවසාන වශයෙන් ලොවක් නැලවූ...ලොව දිනූ.., ඔපෙරාවේ දාර්ශණික සංකල්පයත්.., සිනමාවේ සජීවී ස්වභාවයත්...,සංගීතයේ සිනමාරූපී ස්වභාවයත් වර්ණතාවයත් මැනැවින් වටහා ගත් ශ්‍රීලාංකීය ඝාණ්ධර්වයාණන් හට මේ ගීය උපහාරයක්ම වේවා යන්න අපි හැමෝම ප්‍රාර්ථනා කරමු...!!!
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයාණෙනි...නැවතත් අප අතරම ඉපිද ලොවක් නලවන්නට ඔබට හේතු වාසනා වේවා....!!!!!
කාලෙකින් ඇසුනු මේ අරුත්බර ගීතය සඳහා දායක වූ සැමට ස්තුතියි..!!!
අනෙක් නදකින් අපි නොවෙමු තොස!

Monday, June 21, 2010

ගීත සාහිත්‍යය රසවිඳිමු....

ඔන්න ඉතින් හා හා පුරා කියලා බ්ලොග් එක ඇතුලේ මාත් අළුත් වැඩක් පටන් ගන්නයි යන්නේ.....මෙතනදි මං උත්සාහ කරන්නේ ලංකාවේ රසිකයින්ට කාලෙකින් නෑසුනු ලස්සන ගීත අරගෙන, ඒ ගීත ගැන මගේ විචාරය ඉදිරිපත් කරන්න..මං  දන්නෙ නෑ මේ විචාර කොයිතරම් දුරට පද්‍ය රචකයාගේ අදහස් එක්ක ගැලපේවිද කියලා...මේක සම්පූර්ණයෙන්ම මගේ අදහස විතරයි....ඒවගේම ඒ ගීත බාගත කරගන්න ලින්ක් එකකුත් මං දාන්නම්....හැමෝම මාත් එක්ක මේ වැඩේට එකතුවෙලා මාත් එක්ක අදහස් බෙදා හදා ගනී කියලා මං හිතනවා.......